කරුණාව අවසානයේදි මහත් සේ විඩාවට පත්වු නමුත් මාගේ කරේ තිබු බෑගය සමග රත්නපුර නගරයට යන බස් රියට ගොඩ විය. මෙම ගමන කරුණා කරන ලද්දේ (රත්නපුර) රජමාවත හරහාය. මේ කරුණාවෙන් මා දැනගත් ප්‍රධාන කරුණු දෙකකි උඩ මළුවේ ඇති ඝන්ඨාරය කෝඩු අයට නාද කරන්නට අවසර නැති බව හා ශ්‍රි පාදය කරුණා කිරීමට මාර්ග 3ක් ඇති බවයි. ඒවානම්
• රත්නපුර-ශ්‍රි පලාබද්දල (රජමාවත) මාර්ගය
• කුරුවිට-එරත්න (අඩවිකන්ද) මාර්ගය
• හැටන්-නල්ලතන්නි මාර්ගය
නිවසට පැමිණි වහාම මා ඉටා ගත්තේ ඉතිරි මාර්ග දෙකෙන්ද කෙසේ හෝ සිරිපා කරුණා කළ යුතු බවයි.
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ රාජකාරි සදහා සිරිපා කරුණා කරන බව දැන ගත් නිසා මම පාසලේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා ඒකකයට එක් වුණෙමි. වසර කිහිපයක් ගතවෙන්නට මත්තෙන් මට මාගේ අරමුණට ලංවිය හැකි විය. එනම් ප්‍රධාන මාර්ග තුනෙන්ම සිරිපා කරුණා කිරීමයි. එනමුත් මාගේ අරමුණ දිනාගන්නට පළමුව මාගේ මලයන්ඩිය වන දෙමින්ත විසින් සොයාගෙන ආ වීරසිංහ මහතාගේ " සිරිපා කරුණාව" නැමැති පොත කියවන්නට ලැබුණි. එහි ප්‍රධාන මාර්ග තුනට අමතරව අප්‍රකට මාර්ග තුනක් ගැනද සදහන් විය. ඒවා නම්,
• දෙහෙනකන්ද-මුක්කුවත්ත මාර්ගය
• දැරනියගල-උඩමාලිම්බඩ (ඉහල මාලිම්බඩ) මාර්ගය
• මරේවත්ත-රාජමලේ මාර්ගය
සිත ඇතුලටම කීඳා බැස තිබුණ කරුණ වුයේ මා මේ මාර්ග හයෙන්ම සිරිපා කරුණාකල යුතු බවයි. මෙයින් දුෂ්කරම පාර ලෙස වැටහුනේ දෙහෙනකන්ද-මුක්කුවත්ත පාර යි.
කිහිප වරක් පිඹුරුපත් සකස් කලද මේ ගමන සාර්ථක කරගැනීමට නොහැකි වීය. මිනින්දෝරු දෙපාර්ථමේන්තුවේ සිතියම් මිලට ගෙන ඒ ඇසුරෙන් කරුණු අධ්‍යයනය කළෙමි (mobile GPS tracking ගැන ඒ කාලේ දන්නෙ නෑ). වැඩිහිටි උපදෙස වූයේ ඔය පාරෙන් සිරිපා කරණා කිරීමට නම් පාර ගැන දන්නා කෙනෙකු සමග යා යුතු බවයි. මෙම ගමන සදහා මා බොහෝ සේ දිරිමත් කළේ මාගේ ලොකු මාමාය. මා මිතුරු උදාර සමග රත්නපුර නගරයට ගොස් දෙහෙනකන්ද-මුක්කුවත්ත පාරේ ගමනට මග පෙන්වන්නෙක් සොයා ගන්නට උත්සහා කළද එය අසාර්ථක වීය. මග පෙන්වන්නෙක් නොමැති බැවින් ඒ ගමන වෙනස් කර කුරුවිට-එරත්න පාරෙන් එවරද ශ්‍රිපාදය වන්දනා කළෙමු. මේ අතරතුර මා දන්නා රත්නපුර අවට සිටින අයවලුන්ට මා පණිවිඩ යැව්වේ මුක්කුවත්ත පාරෙන් සිරිපා කරුණා කිරීමට කෙනෙක් සොයා දෙන ලෙසටයි. විවිධ සබදතා මත කිහිප විටක්ම උත්සාහ කළද සෑම අවස්ථාවකම බලාපොරොත්තු අත්හැරීමට සිදු විය. නමුත් දිනක් මද්දුම මාමාගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් නිසා මුළු ගැන්වුණු බලාපොරොත්තුව මල්පල ගැන්විය. ඒ ඇමතුමෙන් කියවුණේ "මා මිතුරකු මුක්කුවත්ත ගමේ ග්‍රාම නිළධාරි ලෙස මාරුවක් ලබා ඇති නිසා ගමනට සහායකයෙක් සොයා ගැනීමට හැකි වනු ඇති බව" යි. දින කිහිපයකට පසු එම ග්‍රාම නිළධාරි තුමා විසින් අපට තරුණයකු ඒ සදහා සම්බන්ධ කරන ලදි. වහ වහා ගමනට අවශ්‍ය සියලුම දේ සූදානම් කළෙම්.
මිතුරන් කිහිප දෙනෙකුටම කතා කලත් ගමන ගැන තිබු බය, සැකය මෙන්ම කාර්යබහුලත්වය නිසා ගමනට එකතු වුයේ මාගේ සරසවි මිතුරෙකු වන සඳමාල් පමණි. සඳමාල් පැවසූයේ "දියා ශ්‍රිපාදය ගැන නම් මම දන්නේ නෑ කැලේ බඩගාන්න හොදම මනුස්සයා අපේ තාත්තා, මොකද කියන්නේ. තාත්තවත් එක්කරගෙන කරුණා කරමුද". පිඹුරුපත් සියල්ල සකස් කෙරුණි. රත්නපුරෙන් වේවැල්වත්ත බසයට නැගගත් අපි තිදෙනා නුගවෙල හන්දියෙන් බැස්සෙමු. එහිදි එම තරුණයාට ගත් ඇමතුමෙන් කියැවුණේ ඔහුට අප සමග එක් වීමට නොහැකි බවයි. ඒය සාධාරණිකරණය කිරීමට ඔහු පැවසු බේගල් අසා සිටීම තේරුමක් නැති බව දැනගත් මම ඇමතුම විසන්ධි කළෙමි. එම ගමන ගැන මා කලින් තැබු මූනුපොතේ සටහන මෙසේය.
“අසීරුම පාර දිගේ සිරිපාද වන්දනාව. වීරසිංහ මහතාගේ මුනි සිරිපා පොත කියවපු දවසේ ඉදලම හිතේ තිබුණු ආසාව සැබෑ උනේ මේ ගමනින්. සිව් වතාවක් උත්සාහ කරත් මේ ගමන යන්න බැරි උනා. මුක්කුවත්ත ගමේ කව්රුත් අපිත් එක්ක මේ ගමන යන්න කැමති උනේ නැ. ඒ උනත් ජයනාත් විදුහල්පති තුමාගේ සහ මුක්කුවත්ත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ දෑනමුතුකම් නිසා අපි ගමන තනියෙම පටන් ගත්තා. ඉස්සර සිරිපා වාරේ පටන් ගන්නකොට මේ පාර සුද්ද කලත් 2014 දී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පනවපු තහනමින් පසුව කිසිදු පිරිසුදු කිරීමක් කරලා නැ. සෝමරතන අම්බලම පසුකල මොහොතේ පටන් දැඩි බෑවුමක් දිගේ ඉහලට ඇදුනු අපිට එල්ලවුණු මිනින්දෝරු ආක්‍රමණය විස්තර කරන්න මට වචන නැ. දණහිස නාසයේ වදින තරම කන්දේ අපි සෙමින් සෙමින් ඉහලට ඇදුනා. ආක්‍රමණයේ තරම කොතරම්ද කිව්වොත් අපේ හිස සහ කන් පවා මනින්න පටන් ගත්තා. බෑන සමනල නිම්නයට නැගුණු අපිට මීළගට ලැබුනේ මද බෑවුම් සහිත තැනිතලා ප්‍රදේශයකි. ගමන් මහන්සිය අඩු උනත් ආක්‍රමණය හා පාර සොයා ගැනීමට තිබුණු අසීරුතා නිසා ගමන තවත් අසීරු උනා. කිහිප විටක් පාර වැරදුනත් සදමාල්ගේ තාත්තට හා GPS Track එකට පින්සිද්ද වෙන්න අපි නිවැරදි මගට නැවතත් වැටුනා. ලැබුණු තොරතුරු අනුව මිට ටික දිනකට පෙර මෝරා කොල්ලෝ ටිකක් මේ ගමන ගිහින් හැරිලා ආපසු ඇවිල්ලා තිබුනා. පාර වැරදුන කියලා හිතාගෙන යනකොට එයාලා විසිකරලා ගිහින් තිබිණු ජෑම් බෝතලයක් නිසා අපේ බය නැති උනා. දිවි වසුරු හා සත්ව හඩවල් මැද්දෙන් තවත් ටික දුරක් ගියාම බැරි උන backpack rain cover එකක් දැක්කා. මේ වෙනකොට අපි වැස්සෙන් හෙම්බත්වෙලා හිටියේ. කොහොම හරි සමන් දෙවි පිහිටෙන් ඇදිරි වැටෙන කොට අපි සීත ගගුලට ආවා. ඒ වතුර ටිකෙන් නාගන්න බැරි උනේ අවාසනාවට කාලය හරස් උන නිසා. කොහොම හරි ගගුල පහු කරනවාත් එක්කම ආක්‍රමණය ටිකක් අඩු උනා. අවසාන දොළෙන් එගොඩ වූ පසු අප පිවිසියේ මගේ ජීවිතයේ අසීරුම කදු තරනයටයි. කිසිදු ආඩි පාරක සලකුණක් නොමැතිව අදුරේ අපි තරණය කලේ වාසනාවට හා සමන් දේවි පිහිටෙන් මිස දැනුමෙන් නොවේ. අවසානෙට හොදටම තෙමිලා අපි No-5 pump house එකට අවා. ජීවිතේ මං ලබපු ලස්සනම අද්දැකිමේ විස්තරේ තමයි මේ. කාටවත් මේ පාරෙන් සිරිපාදේ කරුණා කරන්න කියලා කාටවත් නිර්දේශ කරන්න බැ. එත් ඔයාලා යනවනම් මටත් කියන්න. පරිසරේ කොතරම් ලස්සන උනත් අපිට ෆොටෝ ගන්න බැරි උනේ අපේ අවදානය තිබුනේ ගමන ගැන නිසයි.”
දිනක් මා ආදරණිය බිරිද රැකියාවට ගොස් නිවසට පැමිණ මාහට පැවසුවේ, ඇයගේ රාජකාරි මිතුරකු හා අප සරස්වියේ වෙනත් කණ්ඩායමක පිරිසක් දැරනියගල-උඩමාලිම්බඩ මාර්ගය හරහා සිරිපා කරුණා කිරීමට සූදානමක් ඇති බවයි. මටද යා හැකි දැයි මම විමසුවෙමි. ඇය වහාම නදීර අමතා මාගේ අදහස දැන්වීය. එහි ප්‍රතිඵලය මත එවේලේම යතුරුපැදියෙන් පුවක්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නදීරගේ නිවසට ගොස් එම නඩයට එක් වීමි. මෙම ගමනත් සමඟ දැරනියගල-උඩමාලිම්බඩ මාර්ගයෙන් සිරිපා කරුණා කිරීම සම්පූර්ණ විය.
එම ගමනින් පසු මාගේ අරමුණ තවත් පුළුල් විය. එනම් සිරිපා කරුණා කළ හැකි තවත් අතිශය අමාරු හා අවදානම් මංපෙත් දෙකක් දැන ගැනීමට හැකි වීමයි. ඒවා නම්,
• බත්තලු ඔය-දියඇලි මංපෙත
• බත්තලු ඔය-පැරඩයිස් මංපෙත
එම වන්දනාවේදි හදුනාගත් මිතුරන් දෙදෙනෙකු සමග මරේවත්ත-රාජමලේ හරහා කරුණා කොට බත්තලු ඔය-පැරඩයිස් මංපෙත ඔස්සේ ආපසු ඒමට කටයුතු යොදා ගතිමි. ඉතාමත් අසීරු දුර්ග මැදින් යෙදුණු ආපසු ගමන මා ජීවිතයේ ලැබු ත්‍රාසජනක අත්දැකීම් වලින් එකකි. එම ගමනත් සමග මාගේ අරමුණ සාක්ෂාත් කරගැණීමට ඉතිරි වූයේ දුෂ්කරම හා කෙටිම මංපෙත වන බත්තලු ඔය-දියඇලි මංපෙත හරහා සිරිපා කරුණා කිරීම පමණකි. මෙම ගමනත් සමගම මාගේ අරමුණේ තවත් කඩයිමක් පසුවිය. එනම් සිරිපා කරුණා කළ හැකි ප්‍රධාන මාර්ග තුනට අමතරව ඇති අප්‍රසිද්ද මාර්ග තුන ඔස්සේ ද සිරිපා කරුණා කිරීමට ලැබීමයි.
ඉන්පසු අරමුණේ අවසාන ඉලක්කය වු බත්තලු ඔය-දියඇලි මංපෙත ඔස්සේ ගමන් කිරීමට කිහිප වරක් පිඹුරුපත් සකස් කළද එය සැබෑවක් වූයේ මීට දින කිහිපයකට ඉහත දීය. මාගේ සරසවි මිතුරන් කිහිප දෙනෙකු සහ රාජකාරි මිතුරන් කිහිප දෙනෙකු සමග මෙම ගමන මාස ගණනක් තිස්සේ සැලැසුම් කෙරුණි. අපගේ ගමන් මාර්ගය වූයේ මුක්කුවත්ත මාර්ගය ඔස්සේ කරුණා කොට බත්තලු ඔය-දියඇලි මාර්ගය ඔස්සේ ආපසු පැමිණීමයි. සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මෙම ගමනද සාර්ථක කර ගැනීමට අපට හැකි විය. බත්තලු ඔය-පැරඩයිස් මංපෙතෙන් මා ලැබු අත්දැකීමට නොදෙවෙනි ත්‍රාසජනක අත්දැකීම් මේ ගමනේදි ද ලබා ගත හැකී විය. මෙම ගමනත් සමගම සියලුම මාර්ගයන් ඔස්සේ සිරිපා කරුණා කිරීම යන මාගේ අරමුණ මුදුන්පත් විය.
මෙම ගමනට පෙර මා ශ්‍රිපාදය විසිතුන් වතාවක් වැද පුදා ගෙන තිබුණි. නියමිතව තිබුණේ මෙය විසිහතර වන වතාව වීමටයි. නමුත් මෙම ගමන යාමට පෙර සති අන්තයේ මා බිරිදගේ අදහස අනුව ඇයත් සමග තවත් වතාවක් සිරිපා කරුණා කිරීමට යෙදුණ හෙයින් මේ වතාව මාගේ විසිපස්වෙනි ශ්‍රිපාද වන්දනාව විය.
මෙතුවක් මාගේ සිරිපා ගමන්වලට එක්වුණු, මා එක්කරගත් සහ මා දිරිමත් කළ සියළු නෑ හිත මිතුරන්ට මම මුළු
හදවතින්ම ස්තූති කරමි. සුමන සමන් දෙවි පිහිටයි.
---දියනද ගුණවර්ධන--


0 Comments